2013/11/13

ඇයි හදිස්සිය?

වම දකුණ වම
සීරුවෙන් සිටීමක් නම් නෑ
ඉදල හිටල
තල්ලු කරන් ඉස්සර වෙලා යන අයත් ඉන්නව
ඇයි හදිස්සිය?
අපි ඔක්කොම යන්නෙ එකම තැනට

......මම මේ කිව්වෙ කූඹි පෝළිමක් ගැන......

ඇයි හදිස්සිය?

වම දකුණ වම
සීරුවෙන් සිටීමක් නම් නෑ
ඉදල හිටල
තල්ලු කරන් ඉස්සර වෙලා යන අයත් ඉන්නව
ඇයි හදිස්සිය?
අපි ඔක්කොම යන්නෙ එකම තැනට

......මම මේ කිව්වෙ කූඹි පෝළිමක් ගැන......

2013/10/28

නිල්ල දළු ලා වැඩෙයි

ඉඩෝරයට වැටෙන වැහි
මහපොළව සිඹියි නම්
කටුක ඉරිතැලුම් මත
නිල්ල දළු ලා වැඩෙයි

හෘද සාක්ෂිය ඇත්නම්

නිදොස් බව
කෑ ගසා
කියන්නට
අවැසි නැත
හෘද සාක්ෂිය
ඇත්තවුන්
තට්ටු කර
බලත්වා!

2013/08/13

වැස්ස

ඉඩෝරයට වැහි වැටිලා
කර්කෂ පොළවම තෙමිලා
තණ බිස්සක මල් පිපිලා
දුටුවෙමි හීනෙක පෙනිලා

ඇස් ඇරලා බැලුවාම
හිස් අහසක් දුටුවාම
වළාකුලට බැනලාම
වැස්සේ නෑනේ තාම

2013/07/19

මට තිබුන එකම දේ

න්‍යෂ්ටික බෝම්බයක්
ජිවිතයට වැටිල
සුනු විසුනු වී ගියා
හිරොෂිමාව
සන්තකව මට තිබුන
ආත්ම ධර්ය අරන්
ගොඩනැඟුව මම
ජපානය

කවි හොරා දැන් කොහෙද?

කවි ලියපු
කවි කියපු
කවි කාරයො
අතුරුදහන්!

වචන හොරකන් කරන්
ලිව්ව ඒ පද පේලි
නැවතීමේ තිතක්
නැතුවම නැවතිලා
රටාවක් හොයන්
කලාවක් හොයන්
රිද්මයට ලකුණු දෙන
රසිකයො පැන ගිහින්

කවි ලියපු
කවි කියපු
කවි කාරයො
අතුරුදහන්!

2013/06/16

වාක්‍යය අගට

ප්‍රශ්නාර්තය යන්න
නැවතීමේ තිත ඇවිත්
වාක්‍යය අගට
ඉතින්
උදෘතය කොමාවක් වෙලා

2013/05/27

හිත යුද පුහුණුවක

සීරුවෙන් සිටිනු
වෙන ඉරියව් අකැපයි
හිත යුද පුහුණුවක
සිතිවිලි අවියක් වෙලා!

මම උණ ගසක්

සුළඟ
ඔබ
මෝඩයි!
මම
බිමට
නැවුනත්
කැඩෙන්නෙ නෑ......!


ලියල විසි කලා

උතුරල
අපතේ නොගිය
මාව
අන්තිම බිංඳුව
වෙනකන්
ලියල
විසි කලා

මීට,
බෝල්ට් පොයින්ට්

2013/05/04

මම දුප්පත්


ඉරි තැලුන බිත්තියක
සිදුරෙන් ගෙට එබෙන
සඳ එලිය මට හොඳයි
පහනත් නිවේ නම්

දුප්පත් කම දමා
තැම්බූ වතුර ටික
කහට උගුරක් වෙයන්
ඒත් කෝ සීනි දැන්

2013/04/16

සෙනෙහසේ හිම කැටය


සිහිල් හිම කැටය ඔබ
ලෝදිය වූ හද මඬලට පතිතව
නිවාලයි හද දවාලූ ගිනි
සෙනෙහසේ හිම කැටය ඔබ

2013/04/09

තෙපලනා ගිරවියේ


දෙතොල් පෙති ලෙලවමින්
තෙපලනා ගිරවියේ
නෙත් මගේ පිනවමින්
රඟදෙනා සුර ලියේ
හිත මගේ නලවන්න
පෙම් හැඟුම් මොලවන්න
පියාඹන්න ඉඩදෙන්න
අඹරේ........

නොදුටුවෙ මාව


මාව
හැමදාම
දුටුවත්
ඔබ
තවමත්
නොදුටුවෙ
මාව

සිතිවිල්ලක් ඔබ!


අසුරු සැනින්
ඇවිත්
ආපසු යන්න
පාර නොදැන
හිතේ
අතරමං වුන
සිතිවිල්ලක්
ඔබ!

කොතැනක සිටියෙද ඔබ?


වල්ගා තරුව
කඩා වැටුන
මිහිමතට,
විශ්වයේ
කොතැනක
සිටියෙද ඔබ?

2013/03/30

ඒක හොඳ විහිලුවක්!



අනිත් අය හිනා වෙනව
මම හිනා වෙනව
අපි  හිනා වෙනව
අයෙත් කියල හිනා වෙනව
අයෙත් අහල හිනා වෙනව
හිත හිත හිනා වෙනව
හේතුව?
ඒක හොඳ විහිලුවක්!

2013/03/25

මම කවුද



ඉරත් හඳත් තරුත් නොවන
ඇත්තටම
මම කවුද
මේ විශ්වයට?

මතක පොතේ කඳුලු බිංඳුව


මතක පොතේ කඳුලු බිංඳුව
බොඳවිය ඔය උරහිසේ
හිත ගිමන් හරින තැන
ගුලි වුනෙමි උණුහුමට
රූරා වැටී නැවතුනි
මතක පොතේ කඳුලු බිංඳුව

2013/03/09

සරුංගලය උඩ ගියා


ඔයා උඩට යන්න
මගෙන් උදවු ගත්තට
සුදු වළකුළු දකිද්දි
අහස අල්ලන්න හිතුනද?
සුළඟත් එක්ක එකතු වෙලා
හැර දාල යනකොට
පස්සෙන් දුවන් ආවෙ
අල්ලගන්නට හිතන්
ඒත්.............................
..................................
මම අලුත් සරුංගලයක් හැදුව
අයෙත් උඩ යවන්න

2013/03/07

මෙදා නන්නාඳුනන අය


එදා සෙනෙහෙන් බැඳී වුන් අය
මෙදා නන්නාඳුනන අය වී
දෙනෙත් ළඟ ගැවසුනත් සෙවනැලි
සිනා මල් පරවී ගිහින්
පියමන් කර ගොසින්
ගව් සිය ගණන් නෑ
හිතින් බෝ දුර ගෙවා ගොස් ඇත
යලිත් නොයෙනා ලෙස සිතා
සොයුරියන් සේ අප බැඳී වුන්
කාලය අවසන් වී ඇතත්
මතකයෙන් මම තාම බැඳිලද?
මගෙ හිතෙන් මම අසමි දැන්.....

"දුරස් වූ සොයුරියක් හදිසියේ දුටිමි"

මිතුරු තෙමේ


මිතුරු තෙමේ දුක සැප දෙකෙහිම සිටිතී
කවි කීවේ කට කැසූ විටකදී
විටෙක මිතුරු විටෙකදි සතුරු වෙතී
කොපමණ කළත් කළහොඳ පස්සෙන්ම එතී

2013/03/03

වීදි ලාම්පුව







දහවලට නිහඬව හිඳ
රාත්‍රියට අයිතිවසිකම් කියන්න
දැල්වී ඉන්නවද?
සුන්දරව පේනවද?
කා හටද මඟ පෙන්වන්නෙ
කියන්න!
වීදි ලාම්පුව

පපුතුරේ ගුලිවෙලා



පපුතුරේ ගුලිවෙලා
අඩවන් නෙත් ඉඟිකලා
නුහුරු හැඟුමක වෙලා
ලෝකයම මගෙ කලා

2013/02/23

රළු හිතේ පිරිමිකම කුරිරු නෑ සුන්දරී
















රළු හිතේ පිරිමිකම
කුරිරු නෑ සුන්දරී
ඈත්වී ඉන්නෙ ඇයි
ඉන්න මා ළඟට වී

ඔය හිනාවෙන් මෙමා 
සුවපත් වෙන තරම්
වෙන ඔසුවක් ලොව නැත
ඔබගෙ ආදරෙ තරම්

සියුමැලියි ඔබ මලක් සේ
නොයිනු මැන ඔබ ගලක් සේ
කතා කරන ඇස් දිහා බලාගෙන
හිඳින්නම් පිලිරුවක් සේ.....

නපුරු නෑ මෙමං 
තරවටු කලත් දැන්
එන්න තුරුලේ ඉඳන් 
නිදන්න හා පැටවෙකු ලෙසින්...


"ඔබේ හිත ලියන්නෙමි"

නෝක්කාඩු වූ කටකාරී


නෝක්කාඩු වූ කටකාරී
හඬන්න නම් තහනම්!
ආඩම්බර කම් කරයි තවත්
ආදරයෙන් කීවේ මෙමං
අවිහිංසක හිත මුරණ්ඩු වී
අමනාපෙන් තව බලයි ඉතින්
නෝක්කාඩු වූ කටකාරී
හඬන්න නම් තහනම්!



"ඔබේ හිත ලියන්නෙමි"

2013/02/17

ලේ දුන්නෙ "ආදරය"


නහර පුරා
හෙමින්
ඇවිදිමින්
මුලු ගත පුරා
දිවුන
ලේ පිළිකාව
"මිතු දම"

ගිලිහුන දිනයෙ
එවන් මිතුදම
ලේ දුන්නෙ
"ආදරය"

එසේ මෙසේ නොවිය


එසේ විය
හමුවිය
වෙන්විය
යලි හමු නොවිය
ඉතින්
මෙසේ විය

සතුටට ඉන්න හිත අස්කරන ගමන්


ලෝබ කමක් නැතුව
මුලු හිතම දුන්න මට
වටිනාකමට ඔබ දුන්න
දුක තාම මා ළඟයි
කරුණාකරල
ඇවිත් අරගෙන යන්න

ප්‍රේම කල්පනා


සුසුම් නැංවෙනා
තාලෙට ගැහෙන්නට වුනා
ප්‍රේම කල්පනා
මුසපත් ගීතයක් වුනා

කිඳුරු අංගනා
හද කිමිදෙන්නටම වුනා
නින්ද නැතිවුනා
දහසක් පැතුම් පිඹිදුනා

කිමිදුනා දුක පුරා හිත පාරලා


හිත් වෙරළ අයිනේ
මා තැනූ මාළිගා
රළ නැඟී යයි බිඳී
පිය සටහන් මකා

මං අතරමං වෙලා
මුහුදු පතුලට වෙලා
මිය යන්නදෝ ඔබ පතා

කිමිදුනා දුක පුරා
 හිත පාරලා......

ආදරය


දැන් option ගොඩයි
original වගේමයි
ආදරය
made in China!

2013/02/08

මගෙ driving


වමට signal දාල
දකුනට හරවල
දඩ කොලයක්!
ඒත් මම
empty pocket!

ඔයාල දැක්කොත් කියනවද?


පොලිසිය දැන් හොයනව
නැති උන තැන ඇහුවත්
ඒක හරියටම මතක නෑ
ඔයාල දැක්කොත් කියනවද?
මගෙ "හිත" නැති වෙලා

.....අවසන්වරට හැඳ සිටියේ මෝඩයෙකුට නොවේ.......

අහසේ මංකොල්ලය


අහස
මංකොල්ල කෑ
උමතු මිනිසෙක්
තරු අර ගත්තත්
සඳ අමතක වෙලා ගිහින්!

ලස්සන


ඇය:
කැඩපත
මම ලස්සනද?
කැඩපත:
මට උබේ
හිත පෙන්නවන්න පුලුවන් නම්!

2013/01/30

නිදිද තාම?


මම නිදි
ඇයි කතාකළේ?
කෝ බලන්න
මට වැදගත් දෙයක් නෙමෙයිනෙ?
පස්සෙ එන්න
මම නිදි.....

2013/01/29

තුන්වෙනි පංතියෙ කකුල


දරිද්‍රතාවයෙන් උලුක් වෙලා
තුන්වෙනි පංතියෙ කකුල
වේදනාවට බෙහෙතක් දෙන
පනත සම්මත වුනේ නෑ
පළවෙනි පංතියෙ ලේන්සුවකින්
වෙලුම් පටියක් දැම්ම!

............විප්ලවකාරී...........

2013/01/24

ඊයෙ සහ අද


ඊයෙ: ඉස්තාලෙ වැහුවෙ නෑ
         අස්සය පැනගියා
අද: දුක්වෙන්න දෙයක් නෑ
      ඌ කොටළුවෙක්!

මම පැනල යන්න දන්නව!


වහල තියන්න
අගුලු දාල
සිරකුටිය
මම ඉන්න,
මගෙ නම
"ජෝන් වැල් ජෝන්"
පැනල යන්න දන්නව!

නොදන්නා වසන්තය


හිනා පුරන ඇස් මඟ හැර යන්නට
ලඳුනේ මා හට පාර කියනවද
මමත් නොදන්නා මේ වසන්තය
කෙදිනකදෝ මට අරගෙනගෙන ආවේ

පොපියන දෙතොලඟ වදනක් වන්නට
ගොළුවත මා දැන් සිඳ බිඳලන්නද
මමත් නොදන මගෙ හිත දැන් කොතැනද
කොහෙදෝ ඔබ එය සිර ගත කෙරුවේ

මං සළකුණු


මන්දිරේ
මංගලී
මන්දහාස නඟා
මං එනතුරු
මංකඩ ළඟ
මන්දාරමේ නොයිද
මංවල
මංමුලා වූ
මං සළකුණු

මම ජුලියට් නෙමෙයි


හඳ නම් පායල
ඒත්
ජනේලයෙන්
එබෙන්නෙපා
මම
ජුලියට් නෙමෙයි
රෝමියෝ...

2013/01/22

කෝ මේ හිත???


හිත ඉරා
විසිකෙරුවෙ
කොතනටද?
කෝ මට
මතක නෑ
අන්න එයා
ආයෙ ඇවිත්
ගම්ගාල වත්
අලව ගන්න
කෝ මේ හිත???

2013/01/20

ලොකු කාර් පිහදාල මමත් ගන්නව දවසක


ලොකු කාර් පිහදාල
මම කැටය පුරවනව
මට රුපියල් පහක්
දුන්නඅර මහත්තය
දැන් ගොඩක් කාසි ඇති
කැටය දැන් හරි බරයි!
සෙල්ලම් කාර් එකක්
මමත් ගන්නව දවසක
බේබි,
මමත් හරි ආස
රතු පාට එකකටයි!

ඇතුලට එන්න


ආරාධනාවයි
ඇතුලට එන්න
හිනාවෙන්න
සල්ලි ඕන
අඬන ටිකට් එක
නොමිලේ
මෙතනින්
Paradise In

2013/01/11

තටු ආවෙ නැතිවුනත් ඔබ හා පියාඹමි!


වළාකුල් බර වෙලා
ඇස් අහසෙ වැහි බිංඳු
හිතට අකුණු ගැහුවෙ
මම ඉල්ලල නෙමෙයි

ගොරවන සද්දෙට
ඇග හිරි වැටුනත්
කඳුලු වල පාකලේ
කවි ලියපු කොල ඉරල

කුඩයක් නැතුවම
ගව් ගානක් යද්දි
එක් වියනක් යටදි
ඔබ තනිවී උන්න

හිරිකඩ වැදෙනව
ඔබ තව තෙමෙනව
දෑත් එක් කරල
හිරිකඩ මුවා කළා

මම විඩාපත් වෙලා
වැතිරුනා වියන යට
සුවනින්දක් ලැබුනෙ
බෝ කලකට පස්සෙ

ඔබ සුවපත් වෙලා
මා දිහා බලාගෙන
ඉර එළියට දැක්ක
හිනා මල් දිලිසෙනව

වැහි අඳුර නැතිවෙලා
සුදු වළා පාවෙනව
තටු ආවෙ නැතිවුනත්
ඔබ හා පියාඹමි!

2013/01/05

suicide කරමි


සිතිවිලි තනි වුන තැන
මතකය පමණක් ඉතිරිව
පණ අදින ආත්මයකට
ගිලිහෙන්න ඉඩදෙන්න
ත්‍රිමානයෙන් ද්විමානයට යමි!

හිත මියෙන්නේ නම්


මංමුලාවී සැරිසරන්නෙමි
ඔබ අත් හැරි තැනින්
මගෙ සුසුම් මට හිමිද
හිත මියෙන්නේ නම් ඉතින්

2013/01/02

ඔබ හා බැදී




ඔබ හා බැදී
මද පවනෙ වෙලී
පාවි පාවි
ඈත යාවී
සිතිවිලී............
කිරිල්ලියක්දෝ
සමනලියක්දෝ
සැහැල්ලු පියාපතක් මට ලැබුනා
වලාකුල් ළඟ සීතලේ
නිල් අහස් කුස තුලේ
ඔබෙ තුරුලේ
මා
හද පතුලේ
ඔබ
හීනයක්දෝ
සැබෑවක්දෝ
පාවී පාවී
ඈත යාවී
   සිතිවිලී............

ගමනක


ගමනක
සොයමින් අමුතු චරිත
මම යනව
අලුත් ගමනක
තව නවාතැන් පලක්
ආයෙත් පසුකලා