2012/12/31

නව වසර


මේ ඔරලොසුවෙ කටුව
පොඩ්ඩක් හෙමිහිට යමුද?
අද අන්තිම දවස
මම බිත්තියෙ ඉන්න
තව කොච්චර වෙලාවක්
ඉතුරු වෙලා තියෙනවද?
ටික් ටික් ටික් කියද්දි
මගෙ නම් ඇඟ හිරිවැටෙනව

......2012 කැලැන්ඩරේ.......

මේ ඔරලොසුවෙ කටුව
පොඩ්ඩක් හයියෙන් යමුද?
අද අන්තිම දවස
මම හැකිලිලා ඉන්න
තව කොච්චර වෙලාවක්
ඉතුරු වෙලා තියෙනවද?
ටික් ටික් ටික් කියද්දි
මට නම් ඉවසිල්ලක් නෑ

........2013 කැලැන්ඩරේ........

2012/12/23

තත්පරයක ඈ




තත්පරය ඔබ නවතින්න!
ඈ සිනාසෙන අයුරු
අවසර මට බලන් ඉන්න...
තත්පරය ඔබ පැනයන්න!
ඈ නෙතේ කඳුලු බිඳු
නොහැක මට බලන් ඉන්න...

උච්චතම ස්වරය


උත්කෘෂ්ඨ ප්‍රේමයක
උච්චතම ස්වරය
නිවැරදි තනුවකට
හඬ පාලනය යෙහෙකි!

කැඩී ගිය මල් බඳුන


කැඩී ගිය මල් බඳුන
කටු විසිරුන තැනක
නැවත සකසනු කුමට
විසිකරනු හැර ඉතින්

හැර යන්නෙමි ඉතින්


පෙරුම් පුරා කල්පයක්
මග බලා ජන්මයක්
එපා කියු ඔබව දැන්
හැර යන්නෙමි ඉතින්

කුරුටු ගෑමි


ගල් පතුරක මෙමා
කුරුටු ගෑමි පෙම් ගීය
සදාකාලික ගීය ඔබ
ගලකි අද හදමඬල

වැහිලිහිණී


විඩාබර පියාපත්
හකුලුවා බලා හිඳ
පියාඹන්න ඔබ
නැවතත්
වැහිලිහිණී
අහස මග බලයි
වළාකුල් බර වෙලා
වැහි බිඳු ඔබට
අඩගසයි
වැහිලිහිණී

අස්වැසිල්ලක් සොයමි


ඉස්පාසුවක් නැත
ඉස්මත්තට හද ගැබේ
අස්වැසිල්ලක් සොයමි
අස්කරන් සිතිවිලි

2012/12/14

මගෙ "සමාව"


ලාබෙට දීල
පාඩුවුන නිසා
ගණන් වැඩිකලා
මගෙ "සමාව"

පාරට තාර දාල


තාර දාන්න කලින්
දූවිලි බදු ගත්තු
අඩිපාර
දැන්
ආඩම්බරයි!

දැන් මට අමතකයි!



දින පොතේ කෙලවරක
ඈත එක දිනයක
තිබුන නමක්
දැන් මට අමතකයි!
මූණ මට මතකයි,
ඒත් මට අමතකයි!
කතා මට මතකයි
ඒ නිසා අමතකයි!

දියවෙලා යන සුවඳ



දියවෙලා යන සුවඳ
පෙන නගිනවද තාම
මුදු මොලොක් වී කුමට
ඉපදුනිද "සබන්"

තාප්ප



වටවෙලා
කොටුවෙලා
අපි
වටකරල
තාප්ප

2012/12/07

ආදරෙයිද මම, මම දන්නෙ නෑ.............


පාවෙලා පාවෙලා පාවෙලා
සුළං රොදක ඇමිණිලා
පිහාටුවක්ද මම
මම දන්නෙ නෑ.............
මුදු වෙලා සුමුදු වෙලා සුදු මුදු වෙලා
රොන් එක්ක දැවටිලා
මලක් වෙයිද මම
මම දන්නෙ නෑ.............
දිලිසිලා දිලිසිලා දිලිසිලා
හිරු එක්ක හිනැහිලා
පිනි බිඳුවක්ද මම
මම දන්නෙ නෑ.............
හිනැහිලා හඬවලා ආයෙ හිනැහිලා
ඔබ හා හුරතල් වෙලා
ආදරෙයිද මම
මම දන්නෙ නෑ.............

2012/12/04

ගී කිරිල්ලිය දැන් වෙන්වෙලා


එක රෑනක රැඳී
ඉගිලිලා
එක් දිවයිනක මා දමා
පියඹලා
ඒ සෙනෙහෙ මතක
සැමරුම් වෙලා
රෑනෙන් අද මම
වෙන්වෙලා
කැදැල්ලක මම
නැවතිලා
එනව දිනක ඔහු හා
පියඹලා
ඉන්නවද මගෙ රෑන
මගබලා
ගී කිරිල්ලිය දැන්
වෙන්වෙලා



2012/12/03

හිත ළඟ කවුදෝ


මුදු හැඟුම් දෝරයයි
සෙනෙහෙ තත් පිරිමදියි
හිත ළඟ
කවුදෝ නතර වෙලා

නොපිපෙන්න රතු රෝස


ඇස් මානයේ
නොපිපෙන්න
රතු රෝස
සුදු අරලිය
පිපුනෙ
කලකට ඉහතදී

මම වැන්දඹුව


සීතල අත් වලින්
මා සයනයෙ හොවා
තනිකම රමණයක
මම වැන්දඹුව

සිතිවිලි වල බර කිරන්න


තනිකඩ හිත
අදෘශ්‍යමානව ස්පර්ශ කරන
සිතිවිලි වල බර කිරන්න
තරාදිය හැදුවෙ
මල්සරා...

අලුත් තනුවක්


වේදනාවේ රුදුරු ස්වර
වැයෙන තත් දෙස බලා
සුසර කරන් මියුරු ස්වරයක්
වයන්න ඔබ අලුත් තනුවක්